වෙහෙරගල නොහොත් තලගුණා වෙහෙර
පෙර කොටසට.....
https://sithumiprarthana123.blogspot.com/2022/04/blog-post_22.html
"වෙහෙරට විතරක් නෙවෙයි.අහල ගම් හතකට විනාශය ළඟා වුණා වගේ..මේ වුණ විනාසේ. පුරාවිද්‍යාවෙන් ඇවිල්ලා චෛත්‍යය සංරක්ෂණය කරන්ඩ කියලා ධාතුයි,නිධන් වස්තු යි හාරලා ගෙනිච්ච ගෙනිච්චමයි කරපු දෙයක් නෑ.අන්තිමට වැඳපුදාගන්න තිබ්බ චෛත්‍යයත් ගරා වැටී ගෙන යනවා.."
මේ ගම්මුන් ගේ අදහසයි.කැණීමේදී බුදුපිළිම, පත්තිරු,කරාබු,මැණික් ඇතුළු විශාල වස්තු සම්භාරයක් හමුවී ඇති අතර නිදන් හොරුන්ගේ අවධානය යොමු වීම නිසා වෙහෙර විනාශ මුඛයට පවා ඇද වැටී ඇත.මෙකී වෙහෙර අව්වැසි කාලවලට හසුවෙමින් වල්වැදෙමින් පැවති අතර වටිනා උරුමයක් විනාශ වීම නිසා කණගාටුවට පත් ප්‍රදේශවාසීන් වර්තමානයේ එය සුද්ධ පවිත්‍ර කොට යම්තාක් දුරට නඩත්තු කොට ඇති බව දැකගත හැකිය.
චෛත්‍යය පිළිබඳ කැණීම් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසන්තා පුෂ්පශාන්ති මහත්මිය මෙම චෛත්‍ය රැක ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇත.(2008.10.06)
⚫ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කිරීම
⚫එම ස්ථානයට හැඳින්වීමේ නාමපුවරුවක් යෙදීම
⚫මාර්ග සංඥා පුවරුවක් යෙදීම
![]() |
| හැඳින්වීමේ නාමපුවරුව |
වර්ෂ 1993දී කරන ලද කැණීම් වලදී ඓතිහාසික වටිනාකමකින් යුතු පුරාවස්තු සෙවීම ආරම්භ වී ඇති අතර එහිදී පුරාවස්තු 78 ක් පමණ හමුවී ඇත.ඒ අතර හිඳි පිළිම 32ක්,හිටි පිළිම 21ක්,ලෝහයෙන් තැනූ ගස් 3ක්,කරඬු 5ක්,රිදී පොත් කිහිපයක්,බාල වර්ගයේ මැණික් ගල්,ලෝහයෙන් තැනූ පිළිම ගෙයක්,තනි රිදියෙන් කළ මල්,වීදුරු කරඬුවක් ඇතුළු වස්තු වේ.
![]() |
| 1993 වසරේදී වෙහෙර සංරක්ෂණය කරන ලෙස ඉල්ලා උඩතලවින්න පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවට කරන ලද ඉල්ලීම් ලිපිය |
එසේම පැරැණි කාසි වර්ග රැසක් ද හමු වී ඇත.වර්ෂ 1744 වසරට අයත් කාසි මෙන්ම වර්ෂ 1862 කාසි ද මෙහි නිධන් කර තිබී හමුවී ඇත.ඕලන්ද කාසි ද මෙහිදී හමුවී ඇත.1992 සැප්තැම්බර් මාසේ මෙහි කැණීම් කටයුතු ආරම්භ කර ඇති අතර පේසා මට්ටමට කැණීමේදී වටේට ගලින් ආවරණය කළ ගල් තහඩු යෙදූ ගැඹුර අඩියක් පමණ වූ පෙට්ටියක් තුළ තැන්පත් කර තිබූ පුරා වස්තු මතුවී ඇත.
රිදියෙන් කළ පුස්කොලපොත්වල ධර්මය ආරක්ෂා කිරීමේ අදහසින් පිරිත් හා දහම විස්තර සදහන් කර ඇතැයි විශ්වාස කර ඇත.එහිදී හමුවූ පුරාවස්තු තැන්පත් කර ඇති ගල් පෙට්ටියෙ උඩු පියනේ නෙළුම් මල් කොටා ඇති අතර එහි රතු පාට ආලේප කර තිබී ඇත.ඇතැම් පිළිම රන් ආලේප කර ඇති අතර ලෝහ,රිදී මෙන්ම ලෝකඩ පිළිම ද තිබී ඇත.
මෙහිදී හමු වූ 1862 වසරේ කාසි නිසා ඊට පසු කාලීනව වෙහෙර ඉදිකරන්නට ඇතැයි මතයක් ද පුරාවිද්‍යාත්මක ව දරා ඇති අතර,නමුත් පසු කරන ලද සංරක්ෂණ කටයුතුවලදී එකී කාසි හමුව ඇති බව ද විශ්වාස කරයි.එයට හේතුව එහි පුරාවස්තු වල ඇති පෞරාණික බවය.මෙහි යටි ගර්භයේ ද තවත් වටිනා පුරාවස්තු වෙතැයි විශ්වාස කෙරේ.මෙහි යට ගර්භය ඉතා පැරණි ක්‍රම සදා ඇති බව ද පෙන්නුම් කරයි.මෙකී සියලු කරුණු 1993 දී සෙනරත් දිසානායක මහතා(පුරා විද්‍යා ගවේෂණ අධ්‍යක්ෂක) විසින් දක්වන ලද කරුණු වන අතර ජනප්‍රවාදයේ එන අන්දමට මෙම ස්ථානයේ සිට රහස් උමං මාර්ග මහනුවරට මෙන්ම දොරගමුව ට වූ අතර ඒ අතර ගලේ පන්සලට යාමට තිබූ උමං මාර්ගය උතුරු දිශාවට පිහිටා ඇත .එය සංකේතවත් කිරීම උදෙසා එහි වූ සියලු බුදු පිළිම ඒ දිශාවට මුහුණ ලා තිබී ඇත .
සංරක්ෂණය කළ යුතු ඉතිහාසයෙන් මැකී යන වටිනා ස්ථානයක් ලෙස තලගුණා වෙහෙර පෙන්වාදිය හැකි අතර,සොබාදහමෙන් මෙතෙක් කල් ආරක්ෂා ආරක්ෂා වූ ආකාරයට ම සංරක්ෂණ කටයුතු කර දුර්ලභ කොටවෙහෙර සම්ප්‍රදායට අයත් මෙකී තලගුණා වෙහෙර මතුවටත් රැක ගැනීම අනාගත පරපුරේ වගකීමකි.
තලගුණා වෙහෙර හා බැඳි ජනප්‍රවාද
ජනප්‍රවාද වලට අනුව එළාර සමඟ සටනට යන දුටුගැමුණු කුමරු යුද සේනාව සමඟ පේරාදෙණිය ට නුදුරු ගැටඹේ හරහා පැමිණ කටුගස්තොට පසුකර මහවැලි ගං ඉවුර දිගේ නවයාලතැන්නෙන් තලගුණ විහාරයට පැමිණ එහි දින කිහිපයක් සේනාව සමඟ ලැගුම් ගෙන ඇත.මහවැලි ගඟ අද්දර සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය විශාල ලෙස පැතිර ගිය ගල් තලාවකින් යුක්තය.
ගල්තලාව පිටුපසින් වේරගල නැමැති කඳු ගැටයක් පිහිටා ඇති අතර ඒ නිසාම මෙම ස්ථානය ද වෙහෙරගල,වේරගල යන නම්වලින් හඳුන්වනු ලබයි. දින කීපයක් එහි ලැගුම් ගත් ගැමුණු කුමරු තම ගමන සිහිවීමට මෙම ගල් පර්වතය මත කුඩා දාගැබක් ගොඩනගා ඇත.පසුව මීගම්මන හරහා මහනුවර ගඟ දිගේ උඩදුම්බර වෙඩරුව හරහා මහියංගනය බලා ඉදිරියට ගමන් කළ බව කියැවේ.ගැමුණු කුමරු හා සේනාවට උඩුදුම්බර දී ප්‍රාදේශීය ජනතාව කෑම බීම හා වෙඩරු වලින් සංග්‍රහ කළ බැවින් එය ස්ථානය අදටත් වෙඩරුව යන නමින් ප්‍රකට ය.
පල්ලේතලවින්න පදිංචි විමලරත්න නැමැති විශ්‍රාමික ගුරු මහතාගේ වෙහෙරගල සම්බන්ධ අදහස් මෙසේය.
"වෙහෙරගල අක්කර කිහිපයක පැතිරුණ විශාල ගල් පර්වතයක්.මේ ගල් පර්වතය පිටිපස්සේ වේරගල කන්ද පිහිටලා තියෙනවා.ගල් පර්වතය උඩ පිහිටලා තියෙන තලගුණ දාගැබ එක්කම පරණ බෝධියක් තිබුණා.ගමේ මහලු පරණ අය මේ දාගැබට,බෝධියට අධිපති දෙවිවරු වෙනුවෙන් පුද පූජා කළා.ඉස්සර ගමේ අය දාගැබට දඬුබෙර පින්කම් කළා.ඉඩෝර කාලවල ඒ වගේ දඬුබෙර පින්කම් පවත්වලා ඉවර උනාම වර්ෂාව ලැබෙනවා.ගොවිතැන්වලින් යැපුණු ප්‍රදේශයේ ජනතාවට ඒ වැස්ස හරි වැදගත් .
මේ ප්‍රදේශය අයිති ගම නවයාලතැන්න කියලා ඉස්සර ඉදල ප්‍රසිද්ධයි .ඒකට හේතුව කුඹුරු නව යායක් ඉතා සශ්‍රීකව මේ ප්‍රදේශයේ පිහිටා තිබීමයි.තල වගාව හා එළවළු වගාව වගේම වෙනත් ගොවිතැන් මේ ප්‍රදේශයේ බොහොම සශ්‍රීකව සිද්ධ වුණා.
මේ වෙහෙරගල කන්ද අයිනේ දුප්පත් අහිංසක ගොවියෙක් හිටියා.දවසක් දාගැබෙන් ගැලවුණු ගලක් අරගෙන ගිහින් ගෙදරකට යන පාරේ පඩියකට තියලා තියෙනවා.එදා අකුණු ගහලා අකාල මහ වරුසාවක් වැටුණා.තද අකුණු පාරක් වැදිල දාගැබෙන් ගෙනාව පඩියට දාල තිබ්බ ගල කෑලි කෑලි වලට විසිරිලා ගියා.පරණ මිනිස්සු මේ දාගැබට කිරි ආහාර පූජා කළා.ලෙඩ රෝග අසනීප වලදී දාගැබට බාරවෙලා හත් දවසක් බෝධි පූජා තිබ්බම ලෙඩ රෝග සනීප වෙලා තියෙනවා.
දවසක් දාගැබෙන් ගැලවුණු ගලක් ගෙනත් දුප්පත් කෙනෙක් ගෙදර මිරිස් ගලට අරගෙන තියෙනවා.වැඩි දවසක් ගියේ නෑ එයාට පිස්සු හැදිලා.ඒ විකාරයෙන් ම ගෙනාපු ගල ආපහු දාගැබ ළඟට ගිහින් දාල තියෙනවා.මම තවත් තොරතුරක් කියන්නම්.දාගැබට කිට්ටුව ගොවියෙක් පදිංචි වෙලා හිටියා.වැස්ස නැති කාලෙක එයාගේ ගේ මැදින් ලොකු වතුර ගොබයක් එකපාරටම මතුවුණා.මේ තරම් ලොකු වතුර ගොබයක් වෙහෙරගල කන්ද කොහේ හරි හැංගිලා තිබුණ කියල හොයාගන්න බැරි තරම් පුදුමයි.පිරුණු පොකුණකින් ගලා එන වතුරක් වගේ තමා අර විශාල වතුර ගොබය එකපාරටම ගේ මැදින් ගලාගෙන ආවේ.පසුව මේ වතුර ගොබේ නැවතුණා.වෙහෙරගල කන්දේ බොහොම ඉස්සර ලොකු ගුහාවක් තිබුණු බව වයසක අය කියනවා. දාගැබට කන් කිට්ටු කරලා තිබ්බම මී මැසි රංචුවක් යනකොට ඇහෙන ශබ්දයක් ඇහෙනවා.ඒක මිහිරි සද්දෙට පිරිත් කියනවා වගේ ඇහෙන ශබ්දයක්.කිසිම කෙනෙකුට දාගැබ අවට ගොවිතැන් ගොවිතැන්බත් කරන්න බෑ .දාගැබ අයිති පන්සලේ හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන දාගැබ් අවට සුද්ධ කරලා ගොවිතැන් කරපු කෙනෙක් හිටිහැටියෙම මැරුණා.එක්දාස් නවසිය අසූ ගණන්වල සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කළා.ඒ වැඩට හවුල් වුණු අයටත් යහපතක් වුණේ නෑ..පවුල් කැඩිලා විසිරිලා ගියා.අකාලයේ මිය ගියා.මේ දාගැබ අලුත්වැඩියා කරන්න ආපු වෙළෙන්දෙකුගේ නෑයෙක් කාලයක් දාගැබ ලඟ පදිංචි වෙලා හිටියා.ඒ වුණාට ඒ ආපු කණ්ඩායම අතර ම එක එක කලකෝලහල ඇතිවෙලා අර මැණික් ව්‍යාපාරිකගේ ව්‍යාපාරික ස්ථානයත් විනාශ වෙලා ගියා.1992 විතර සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කණ්ඩායමක් මේ දාගැබ හාරා පරීක්ෂණයක් කිරීමට ආවා.ඒ හැරීමේදී දාගැබ එකතැනකින් විශාල ගල් කුට්ටියක සිදුරක් මතුවුණා.ඒක අඟල් හතරක් තරම් අතක් ඇතුලට දාන්න පුළුවන් තරමට පුංචි සිදුරක්.ඒ සිදුර දාගැබය තිබුණු රහස් උගුලක් කියලා පස්සේ එළිවුණා.ඒ සිදුර දාගැබේ නිධානය ආරක්ෂා කරන්න යොදපු උඟුලක්.
1993 සංස්කෘතික ත්‍රිකෝණය කටුගස්තොට පොලීසිය හා ග්‍රාම නිලධාරී සහය ඇතිව දාගැබේ නිදන් කොටුවෙ තිබිලා පුරාවස්තු හැත්තෑ අටක් සොයාගත්තා .ඒව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යැව්වා.නිදන් වල තිබුණ දේවල් ගැන එක එක කතා පැතිරිලා ගියා.වටිනා පුංචි රත්තරන් පිලිමයක් හම්බුනා කියලා තියෙනවා.මුල්කාලෙ ගැමුණු කුමාරයා දවස් කීපයක් සේනාව සමඟ නතර වෙලා ඉන්නකොට තමා මුල්ම පුංචි දාගැබ වේරගල ගලමුදුන හැදුවේ.ඒ හින්දා මුළු පලාතම සරුසාර වුණා දියුණු වුණා .ඊට පස්සේ ඒ සේනාව මීගම්මන හරහා මහියංගනය බලා පිටත් වුණා.දාගැබ ලොකුවට බැඳලා තියෙන්නේ ඊට පස්සේ මහනුවර කාලේ.මේ දාගැබ ඊට පස්සෙ කැලෑ වැවිලා පාළුවට ගියා.පිටින් ආපු නිදන් හොරු කීපසැරයක් දාගැබ හාරලා තියෙනවා.දැන් දාගැබ ලඟ පන්සලේළඟ පන්සලේ ස්ථිර පදිංචියක් තියෙන හාමුදුරු නමක් ඉන්නවා .එළාර රජ්ජුරුවොත් එක්ක ගැමුණු කුමාරයා රට මැදින් යුද්ධෙට යනකොට මුලින්ම හදපු හාස්කම් තිබ්බ ස්ථානය හැටියට එදා අය තලවින්න දාගැබට ගරු සත්කාර කරා.ටිකෙන් ටික අලුත් දියුණුව එක්ක ඒ පුදසත්කාර ගෞරව අඩුවෙලා ගිහින්."
මේ ආකාරයට දෑස් මානයෙන් වසන් වුණා,පෞරාණික විශ්මිත ආශ්චර්යමත් උරුමයක් වූ තලගුණා වෙහෙර හා බැඳී රසවත් තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර තලගුණා වෙහෙරෙහි කිසිවෙකුත් නොදන්න වසන් වුනු සත්‍ය තවමත් පවතින බවට විශ්වාසයක් ඇති බවත් පැහැදිලි කරුණකි .
සටහන- පාරෝ ❤
ප්‍රාර්ථනා බණ්ඩාර-පල්ලේතලවින්න.







No comments:
Post a Comment
Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤
පාරෝ❤🌼