වෙහෙරගල නොහොත් තලගුණා වෙහෙර
සෙංකඩගලපුර දළදා මාලිගය පවා ඈතින් දිස්වෙන අති රමණීය භූමි ප්‍රදේශයක් වන පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේ මහනුවර නවයාලතැන්න මාර්ගයේ පල්ලේතලවින්න හා උඩතලවින්න ග්‍රාමයන්ට මායිම්ව ඇති උඩතලවින්න ග්‍රාම සේවා වසමට අයත් වෙහෙරගල නම් වූ උස් කඳුවැටියේ එක් මුදුනක් මත දක්නට ලැබෙන නටබුන් දාගැබ තලවින්න ගම්මානය හා ආශ්‍රිත දිගු ඉතිහාස කතාවක තොරතුරු රැසක් සඟවාගත් නිසංසල ස්මාරකයකි.
![]() |
| තලගුණා වෙහෙර |
දාගැබට අඩි පහළොවක් පමණ නැගෙනහිරින් කිසියම් ගොඩනැගිල්ලක් තැනූ බවට හෝ එවැනි උත්සාහයක් දැරූ බවට සාක්ෂි හමුවේ.ගල්තලාවේ ඇති මෙම සිදුරක ගැඹුර අඟල් දෙකක් පමණය.එහෙයින් මෙය තාවකාලික ගොඩනැගිල්ලක් බව ද පෙනී යයි.ඊට පහළින් කුඩා ආවාසයක් දැනට වසර 114කට පමණ පෙර පැවති බවට ප්‍රදේශයේ වයෝවෘද්ධ යෝ පවසති.
![]() |
| ගල්තලාවේ ඇති සිදුරු හා තාවකාලික ගොඩනැගිල්ලේ සාක්ෂි |
මීට අමතරව දාගැබට නිරිත දෙසින් කඩුවක් හා ඊතලයක් යැයි සිතිය හැකි සලකුණු දෙකක්ද ඇත.මෙම සලකුණු හඳුනාගත නොහැකි තරමට මැකී ගොසිනි.ජනප්‍රවාදයේ එන ආකාරයට මෙහි ආයුධ ගබඩාවක් පවතින අතර වෙහෙරට පිවිසීමක් ඇති ගල් පඩි පෙළට දකුණු පසින් පිහිටා ඇති ලෙනක එකී ආයුධ තැන්පත් කොට ඇත.එහි ඇත්තේ ගොවි ආයුධ බවටත්, ආයුධ ලබා ගෙන නිසි ලෙස තැන්පත් නොකිරීම නිසා එය මුද්‍රා තැබී ඇති බවටත් මතයක් ඇත.
![]() |
| ගල් පඩි පෙළ හා දකුණු පසින් පිහිටා ඇති ලෙන |
පහළ කෙළවරේ පර්වත ප්‍රාන්තයේ වටාපතක් හා සිරි පතුලක ලකුණුද හමුවේ.එය නිධන් සලකුණු යැයි ද මතයක් පවතී. මෙම ස්ථානයේ සෙල්ලිපියක් තිබූ බවට පැරැන්නන් කියතත් තවමත් සොයාගැනීමට නොහැකිව ඇත.වෙහෙර පිහිටි ගල යන අයුරින් මෙය "වෙහෙරගල" වන්නට ඇති අතර ඇතැමුන් "හ" කාරය ලොප් කර "වේරගල" ලෙසද ව්‍යවහාර කරති.වත්මන් වහරින් එය වෙහෙරට පමණක් නොව සමස්ත කඳුවැටියට ම යෙදෙන නමකි.
![]() |
| පර්වත ප්‍රාන්තයේ වටාපතක් හා සිරි පතුලක ලකුණු |
පුරාවෘත්ත මගින් වෙහෙරේ ආදිතම අවධිය සම්බන්ධ කෙරෙනුයේ දුටුගැමුණු සමයටයි.ගැමුණු රජු ඇතුළු පිරිසගේ යුද්ධ මාර්ගයේ අවසන් සේනා සංවිධානය කළ ස්ථානය වූයේ නවයාලතැන්නයි. මෙකී නවයාලතැන්නේ දුම්බර මිටියාවතේ මනස්කාන්ත දර්ශනයකින් යුක්ත වෙහෙරගල කඳු වැටියේ ගිමන් හැර ස්මාරකයක් ලෙස මෙකී වෙහෙර ඉදි කරන්නට ඇති බවට ජන වහරේ මෙසේ දැක්වේ.
" වනසනා විලස ඔඳ සැඩි දෙමළුන්නේ
යන දිනා ගැමුණු සෙනඟක් සමගින්නේ
නැවතුනා තැනක ලකුණට බැඳ දුන්නේ
තලගුණා වෙහෙරගල බල තලවින්නේ "
දුටුගැමුණු මෙන්ම වලගම්බා රජු ද සිංහල ජන හදවත් තුළට අතිශය සමීප ලක්දිව පාලකයෝ යි. ජන ප්‍රසාදජනක විවිධ වීර ක්‍රියා කළ මොහු බෞද්ධ ශාසනයේ ගැලවුම්කරුවෝය.එසේම මෙම වීරයින් සතුරා හා සටන් කිරීමේදී තැනින් තැනට පලාගොස් විශේෂයෙන් කඳුකරයේ විවිධ ස්ථානවල සැඟවී සිටි බවට ජනතාව අතර ප්‍රකට විශ්වාසයක් තිබීම මෙවැනි පුරාවෘත්ත ඇති වීමට තවත් හේතුවකි.
වෙහෙරගල තලගුණා වෙහෙරෙහි වර්තමාන ස්වරූපය දුටුගැමුණු සමයට සම්බන්ධ කිරීම සුදුෂ්කර ය. චෛත්‍යයේ හැඩයත් ,සකස් කොට ඇති ආකාරයත් මහනුවර සමයේ වාස්තුකර්මයට සමීප ය.එසේම යථෝක්ත පරිදි වර්තමාන චෛත්‍යය මුළුමනින්ම වැඩ නිම වූවක් නොවේ.එකේ හේතුවෙන් මෙම වෙහෙරගල තලගුණා වෙහෙර කොටවෙහෙර සම්ප්‍රදායට අයත් දුර්ලභ චෛත්‍යයක යයිද නිගමනය කරනු ලැබේ.
එහෙත් උක්ත පද ඇසුරින් ඓතිහාසික නිගමන කිහිපයකට එළැඹිය හැකිය.පළමුවැන්න නම් පද්‍ය රචිත සමය වන විට මේ වෙහෙර ,වෙහෙරගල නොව තලගුණා වෙහෙර ලෙස හැඳින්වූ බවයි.දෙවැන්න නම් එම වෙහෙර අද මෙන් බාගෙට ඉදිකළ එකක් නොවන බවයි.එසේම වර්තමාන චෛත්‍යය ඉදිවීමට ප්‍රථම මෙම ස්ථානයේ වෙනත් චෛත්‍යය තිබී එය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ද යන්නය.
මෙහි සඳහන් "තලගුණාව" යන වචනය එකල තලවින්න හැඳින්වීමට යෙදූ අන්වර්ථ නාමයක් විය හැකිය.තලගුණාව යනු වෙහෙර පමණක් නොව ගම ද හැඳින් වූ වචනයක් බව "රාජසිංහ සටනේ" පද්‍යකින් පැහැදිලි ය.එහේ පරංගීන් හා යුදයට ගිය දුම්බර සේනාංකය මෙහෙයවූ තලගුණෙහි වීරකෝන් මැතිඳු පිළිබඳ ව
" තලගුණෙහි අස මානා
මැති වීර කෝ නා
පරංගින් හට යම සමා නා....."
වශයෙන් සදහන් වේ.
ගමේ නම ඇති වීම සම්බන්ධව ඇති පුරාවෘත්තයක කුඩා රාළ හා මහ රාළ නමින් ගම් නායකයන් දෙදෙනකු තලවින්නේ සිටි බවත් මේ දෙදෙනා තරඟයට තලහේන් කෙටු බවත් කියවේ.ඔවුහු තල වැනූ ස්ථානයේ තලගුණා වෙහෙර පිහිටි බව තව දුරටත් සඳහන් වේ. එසේම තවත් තැනක දුටුගැමුණු රජුගේ සේනාංකයට ආහාර සැපයීමට මෙම තලවින්න ප්‍රදේශයේ තල වගා කරන ලද බවත්,එනිසා තලවින්න නම් ලැබූ බවත්,අස්වැන්නේ මුල්ම කොටස වෙහෙරට පුජා කිරීම හේතුවෙන් තලගුණා වෙහෙර යන නම ව්‍යවහාර ව ඇති බවත් කියැවෙයි.
උක්ත දක්වන ලද කුඩා රාළ කවරෙකු දැන හඳුනා ගැනීමට අපහසු වෙතත් දුම්බර තලවින්නේ කව්රාළ නැමැති ගම් නායකයෙකු පිළිබඳව ශතවර්ෂ 1675 ට හෙවත් ක්‍රි.ව.1753 ට අයත් තල් පතක සඳහන් වේ. තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට කැරැල්ල ග්‍රන්ථයේ iii කාණ්ඩයේ 306 පිටුවේ ඔහු කීර්ති ශ්‍රි රාජසිංහ රජු කැඳවාගෙන තමන්කඩුව,ඌව හා දුම්බර,අනුරාධපුරයේ යන තැන්වලට ගිය බව සඳහන් වේ.කුඩාරාළ යනු කව්රාළ යන්න දුෂ්‍යකොට වරදවා යෙදීමක් හෝ ඔහුට දෙන අන්‍ය නාමයක් වීමට බැරි නැත .ඒ අනුව ක්‍රි.ව.1753ට පසු මෙම දාගැබ ඉදිවන්නට ඇතැයි සැක කළ හැකිය. චූල බෝධි වංශයේ සඳහන් ශ්‍රී මහා බෝධි ශාඛාවන් වන සූතිස් බෝධි අතරින් එකක් වූ තලවින්නේ බෝධිය වෙහෙරගල පිහිටියේ යැයි ඇතැම්හු සිතති.එම නිසා එය ද තරමක විමසුමකට බඳුන් කළ යුතු වේ.චූල වංශයේ සඳහන් සූතිස් බෝධි පිහිටි ස්ථාන අතරින් එකකි තලවින්න.මෙහි සඳහන් අනෙකුත් ස්ථාන අතරට මහනුවර නාථ දේවාලය ,හඟුරන්කෙත ,ගනේතැන්න ,ගඩලාදෙණිය,උඩස්ගිරිය,ගන්නෝරුව ආදී ඓතිහාසික විහාරස්තාන ඇතුළත් හෙයිනුත් මේ සියලුම බෝධි එකවර ගෙන ලද හෙයිනුත් මෙහි සඳහන් තලවින්නේ විහාරයට ද ඓතිහාසික වැදගත්කමක් හිමි ව ඇත.
![]() |
| සූතිස් බෝධි අතරින් එකක් වූ වෙහෙරගල ඇති තලවින්නේ බෝධිය |
තලවින්නේ විහාරය පිහිටියේ කුමන ස්ථානයකද යන්න ගැන නිශ්චිත සාක්ෂි නැත.වෙහෙරගල ට නුදුරින් උඩතලවින්න විහාරය හා බෝගහපිටිය පුරාණ විහාරය යනුවෙන් පන්සල් දෙකකි.තලගුණා වෙහෙර හෙවත් වෙහෙරගල ද පැරණි බෝධියක් පැවති බවටත් වසර 100 කට පමණ ප්‍රථම එය විනාශ වූ බවත් ගැමියෝ පවසති.බෝගහපිටිය පන්සලද ඉතා පැරණි එකක් නමුත් තලගුණා වෙහෙරට වඩා පසු කාලීන ඉදිකළ බව පෙනේ.
තලවින්නේ බෝගහපිටිය නම් ස්ථානය පිළිබඳව ගෙතී ඇති පුරාවෘත්තයක බ්‍රාහ්මණයෙකු පාත්‍රයක හිඳුවා බෝ පැලයක් ගෙන ආ බවත් ,ඔහු එය තිබූ තැනින් ගත නොහී බෝගහ පිහිටිය හෙයින් බෝගහපිටිය නමින් නම් කළ බවත් කියැවේ .
![]() |
| බෝගහපිටිය පුරාණ විහාරය |
තලවින්නේ බෝධියත් සමඟ ම ගෙනාවේ යැයි කියැවෙන ගන්නෝරුව බෝධිය සම්බන්ධව ද පුරාවෘත්තයක් ඇත .ගම්පොළ බුවනෙකබාහු රාජාභිෂේකය සඳහා පැමිණි බමුණන් දෙදෙනකු බෝ පැලයක් ගෙනවුත් ගන්නෝරුවේ පිහිටුව බවත් කියැවේ .බුවනකබාහු රාජවර්ෂය ක්‍රි.ව. 1344 නම් කළහැකි බෝධි ආගමනය ද මීට සමාන වර්ෂයක සිදුවන්නට ඇතැයි ඉහත පුරාවෘත්තය අනුව නිගමනය කළ හැකිය.ඒ අනුව මෙහි සඳහන් තලවින්න බෝධිය පිහිටියේ වෙහෙරගල නම් එම ස්ථානයේ බවත් එහි ඓතිහාසික වැදගත්කම ක්‍රි.ව.1344ට සමාන කාලයක සිට පැවත ආ බවත් එම ජනප්‍රවාදය අනුව නිගමනය කළ හැකිය .
ක්‍රි.ව 1719 ගොලහන්වත්තේ රාජගුරු ධර්මකීර්ති තෙරුන්ගෙන් මහණ බව ලත් තලවින්නේ සුමංගල නම් හිමිනමක් ගැනත් අස්ගිරි තල්පතෙහි සඳහන් වේ.1814 දී රඹුක්වැල්ලේ නම් භික්ෂුන් වහන්සේ නමක් විසින් දළදා වහන්සේ මහනුවරින් බඹරගල ටද,එතනින් තලගුණේ විහාරයට ගෙන ගිය බව සඳහන් වේ.
මේ ආකාරයෙන් ඉතිහාසය තැනින් තැන තලගුණා විහාරය ගැන කියවේ.මෙය වෙහෙරගල හෝ ඊට නුදුරු තැනක් බවට සැක නැත. දැනට නටබුන්ව ඇති තලගුණා වෙහෙර මෙය සනාථ කරන නිශ්චිත සාක්ෂියක් වන නමුත්,ඒ අවට ආවාසයක් පැවති බවට සාක්ෂි නොමැතිවීම පුදුම එළවන සුළු කරුණකි.මෙම පාලු පාළු කඳු මුදුන මත භික්ෂු ආවාසයක් නොමැතිව දාගැබක් පමණක් ඉදි වීමට හේතුවක් නැත.
ආදිතම අවධියෙහි වෙහෙර අසල පන්සලක් තිබූ බවත් එය පිලිස්සී යාම නිසා ඊට පහළින් පන්සලක් ඉදිකර ඇතත් ඒ අතර ජරා පත්වූ හෙයින් පසුකාලයක උඩතලවින්න පන්සල කර ඇති බවට ජනවහරේ වේ.වර්තමාන ස්වරූපයෙන් දක්නට ඇති දාගැබ සැකසීම ප්‍රථමයෙන් අරඹන ලද්දේ හපුගොඩ නාරද හිමි නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් යැයි කියනු ලැබේ.මුලින් එය ගරා වැටුණු පස් කන්දක ස්වරූපයක් දැරී යැයි විශ්වාස කරේ. ජනශ්‍රුතිය ට ඇතුළු වූ තලගුණා වෙහෙර වනාහි මෙම මුල් දාගැබ වන්නට පුළුවනි.
මෙම උස් පර්වතය නිතර ස්වභාවික වෙනස්වීම්වලට ලක් වූ බව විශාල ලෙස පැතිරගිය දෙදරුම් වලින්ද ගල් කුහරවලින් ද පෙනී යයි.මේ හේතුව නිසාම පුරාවෘත්ත මෙම විශ්මිත පර්වතය වටා ගෙතී ඇත.එවැනි පුරාවෘත්ත හෝ මිත්‍යා කතා බිහිකිරීමෙන් ඔවුන් විසින් එම ස්ථානය ජන ජීවිතයේ ආශ්චර්යමත් වැදගත් තැනක් කොට සැලකූ බව පැහැදිලිය.
පර්වතයෙහි ඇති සලකුණු කුමක් අරඹයා කොට ලද්දේ ලද්දේ දැයි නිශ්චය කිරීම අපහසුය.වටාපත හා සිරිපතුල සැබැවින්ම මෙම ස්ථානයේ ආගමික වැදගත්කමකටත්,පැරණි සංඝාවාසයක් තිබූ බවටත් සාක්ෂි ය.සංඝාවාසයක් වීනම් ඒ දැනට දාගැබ් ඇති ස්ථානයේ නොව පහල මෙම අක්ෂර හා සලකුණු ඇති පර්වත ප්‍රාන්තයේ වන්නට ඇතිය.
දාගැබ අසලම ඇති කඩුව හා ඊතල සලකුණු මීට හාත්පසින්ම වෙනස් ඓතිහාසික යමක් කියා පාන්නකි.මෙය කඩයිම් ලකුණක් දැ යි සමහරු සැක කරති.හමුදා කණ්ඩායම් සලකුණක් විය හැකි යැයි සමහරු කියති.නිතර රාජපාක්ෂික ජනතාවක් විසූ දුම්බර හා මාතලේ ප්‍රදේශවල සටන් ගිනි ඇවිළුණු වාර ගණන ද එමටය.
බොහෝ අවස්ථාවල උඩරට රාජධානියේ රජුගේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස වෙහෙරගල දැක්විය හැකිය .මේ හේතුව නිසා සටනට යන අතරමග වාඩිලා ගත් පිරිසක් මෙම සලකුණු කළාදැයි සැක සිතීම ද සාධාරණය.දුටුගැමුණු රජු ඇතුළු පිරිසක් විසින් වාඩිලා ගත් ස්ථානයේ ලකුණට බැඳ දුන් චෛත්‍ය යනුවෙන් ගෙතුණු පුරාවෘත්තයේ ඓතිහාසික සත්‍යය මෙවැන්නක් වීමට පුළුවනි.කෙසේ හෝ මෙය මුළුමනින්ම ඉදිවී නම් මහනුවර සමයට අයත් විශාලතම චෛත්‍යක් වනවාට කිසිදු සැකයක් නැත.
චෛත්‍යය වැලිමළුවක පිහිටා ඇති අතර වැලිමළුව වටා පුරාවිද්‍යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිකරන ලද කළුගල් බැම්මක් ඇත.මෙහි උතුරු දකුණු දිශානුගත දිග මීටර 20- මීටර 40 වන අතර එහි නැගෙනහිර බටහිර දිශානුගත දුර මීටර 20- මීටර 80කි. දැන් මෙහි උස සෑම ස්ථානයකම එක සමාන නොවන අතර උසම ස්ථානය මීටර 01කි.මෙලෙස බැම්මෙහි උස වෙනස් වීමට හේතුව භූමියෙහි පිහිටීමේ බලපෑමයි.චෛත්‍යයේ සිට මීටර් 13.30ක් දකුණු දිශාවෙන් ගල්තලාව මත පිහිටි තනි සිදුරු හතරකි. චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වූ මෙම එක් කණු එක් කණු සිදුරක දිග සෙ.මී.23කි.පළල සෙ.මී.18කි.ගැඹුර සෙ.මී.18කි.කණු සිදුරු දෙකක් අතර දුර මීටර 3.30කි.මෙම ස්ථානයේ අතීත කුටියක් තිබූ බවට පැහැදිලිය.
![]() |
| ගල්තලාව මත පිහිටි තනි සිදුරු හා අතීත කුටියක් තිබූ බවට සාක්ෂි |
දැනට කිහිප වරක්ම නිදන් හොරු විසින් මෙම චෛත්‍යය විනාශ කර ඇත.එසේම දාගැබේ තැනින් තැන බෝ පැළ මතු වී තිබීමද තවත් එක් හානියකි.
![]() |
| දාගැබේ තැනින් තැන බෝ පැළ මතු වී තිබීම |
ඉතිරි කොටස දෙවන ලිපියෙන්.........
දෙවන කොටසට....
https://sithumiprarthana123.blogspot.com/2022/04/blog-post_23.html









No comments:
Post a Comment
Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤
පාරෝ❤🌼